මේ තවත් ජිවිතයක් ගැන ඇහෙන සංවේදී කතාවක්..
“මං ඔය බයිසිකලේ අර ගත්තේ පුළුවන්කමකට සල්ලි තිබිලා නෙමෙයි. පුතාගෙන් බේරෙන්න බැරිකමට එයාගේ ආසාව හින්දයි. දැන් ඒ බයිසිකලේම එයාගේ විනාසෙට හේතු වුණා” යැයි හොරණ තල්ගහවිල මාර්ගයේ මිදෙල්ලමුල්ලහේන ප්‍රදේශයේදී යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය ආර්. එම්. දිලූප ප්‍රසාන් (17) ගේ මව වන ශ්‍රියන්ති පැවසුවේ දරාගැනීමට නොහැකි වේදනාවකින්.
හොරණ, මුණගම, දික්හේනපුර, උදාගම,18 වන පටුමගේ නිවෙසේ ආලෝකය හිටිහැටියේ නිවී ගියේ මුළු මුණගම ප්‍රදේශයම අඳුරේ ගිල්වා තබමින්.
පසුගිය 12 දා උදෑසන දිලූප මාසයකට පමණ පෙර මව විසින් මිලදී ගත් යතුරුපැදියට ගොඩවුණේ හොරණ තල්ගහවිල මාර්ගයේ සිටින මිතුරෙකු කැඳවාගෙන ඉක්මනින් එන බව නැගණියට පවසා ඔහු එන තෙක් ඉදිරිපිට නිවෙසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබා දෙමින්.
එහෙත් ආපසු ගමනේදී මිතුරා යතුරුපැදියට ගොඩවන විට දිලූප පිටුපස හිදගත්තේ මෙවන් විපතක් සිදුවේ යැයි හීනෙකින්වත් නොසිතමින් විය යුතුයි.
නමුත් ඔවුන්ට වැඩිදුරක් පැමිණීමට ඉඩ ලැබුණේ නැත. මිදෙල්ලමුල්ලහේන ප්‍රදේශයේදී ඔවුන්ට ඉදිරියෙන් කාන්තාවන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් යන බව දුටුවත් එය මෙතරම් විනාශයකට මගපෑදේ යැයි සිතන්නට නැත. මිතුරා විසින් දකුණට බරව වේගයෙන් ධාවනය කළ බැවින් ඉදිරිපස යතුරු පැදියේ ගැටී පෙරලුණු යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් මාර්ගය අයිනේ තිබූ විදුලි රැහැන් කණුවක ගැටුණේ සියල්ල උඩු යටිකුරු කරමින්.
සමන්ත රත්නායක (47) හා ශ්‍රියන්ති කුමාරි දෙපළට සිටි දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා වූයේ දිලූපයි. දික්හේන ප්‍රජාපති බාලිකා විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලුනි (11) දිලූපගේ එකම නැගණියයි.
දිලූපගේ මව වන ශ්‍රියන්ති කුමාරි මහත්මිය පැවසුවේ මෙවැන්නක්.
“මම කරන්නේ පුද්ගලික ආයතනයක ක්ලීනින් රස්සාවක්. මහත්තයත් කුලී වැඩ කරලා තමයි ළමයි දෙන්නට උගන්න ගන්න කටයුතු කරන්නේ. පුතා ගියෙ හොරණ රාජකීය විද්‍යාලයට. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ගෙදර ඉන්නකොට බයිසිකලයක් ඕන කිව්වා. එයාගේ ආසාව හින්දා ලක්ෂයක් මං මුලින් දීලා ඉතුරු ගාන වාරික විදිහට ගෙවන්න තමයි බයිසිකලේ ගත්තේ. තාම මාසයයි ඔය බයිසිකලේ අරගෙන. පෙරේදා තමයි වාරිකේ ගෙව්වෙත්.
පුතාට අවුරුදු 18 සම්පූර්ණ වෙන්නෙ වෙසක් මාසෙට. එතකං ලයිෂන් එක ගන්න බැරි හින්දා මං කිව්වා පදින්න එපා ලයිෂන් එක අරන්දෙනකං ඉන්න කියලා. ගෙවල් පැත්තේ ළඟ කඩේකට විතරයි බයිසිකලයෙන් ගියේ.
අපි දෙන්නා වැඩට ගියාට පස්සේ ගෙදර ඉන්නෙ තනියම පුතා විතරයි. ඉතින් අපේ ගෙදර නිතරම එයාගේ යාළුවෝ පිරිලා. එදත් යාලුවෝ දෙන්නෙක් ඇවිත් ඉඳලා තියෙනවා. දුවට බෙහෙත් විඳලා ඉස්කෝලෙ යන්න බෑ කියලා එයත් එදා ගෙදර හිටියා. උඩුව, තල්ගහවිල පාරෙ ඉන්න යාළුවෙක් එක්කගෙන එන්න යනවා කියලා දුවව ඉස්සරහ ගෙදරින් තියලා තමයි ඔය ගිහින් තියෙන්නෙ. ආපහු එනකොට යලුවට බයිසිකලේ දීලා පුතා පිටිපස්සෙන් ඉදගෙනයි ඇවිල්ල තියෙන්නේ.
පුතාගේ යාළුවො සේරම මට මගේ දරුවෝ වගෙයි. එක උසට එක විදිහට ගෙදර ඉන්න කොට මුළු ගේම ඒගොල්ලන්ගේ හිනාවෙන් කතාවෙන් පිරිලා. පුතාට ඉන්නේ නරක යාලුවෝ නෙමෙයි. අනික ඒ ළමයි හිතල වැරදි කරන අයත් නෙමෙයි. මොන විදිහට හරි මේ දේ උනා.
මං හැමදාම වැඩ ඇරිලා ගෙදර දුවගෙන එන්නේ ළමයි දෙන්නගෙ මූණ බලාගන්නෙ කොයි වෙලාවෙද කියලා හිතාගෙනයි. ඒත්...අද මට දකින්න ලැබුණෙ වෙනදට හිනාවෙලා ඉන්න පුතා නෙමෙයි.”
අනතුරට පත් අනෙක් යතුරුපැදිකරු ලෙස කටයුතු කළ බෙරුකැටිය, එකමුතු මාවතේ පදිංචි පතීගමආචාරිගේ විරාජි උරේෂා (35) යන අය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී සාක්ෂි දෙමින් මෙසේ පැවසුවා.
‘මම මිදෙල්ලමුලහේන ප්‍රදේශයේ තිබෙන බැටරි කර්මාන්ත ශාලාවේ කම්කරුවෙකු ලෙස රැකියාව කරනවා. උදේ 8.00ට රැකියාවට ගොස් හවස 5.30ට වැඩ නිම වී ගෙදර යනවා. මම යන්නේ එන්නේ මගේ නංගිට අයත් ස්කූටි වර්ගයේ යතුරුපැදියෙනුයි. 12 දා මම වැඩට ගියා. මා සමග වැඩ කරන චූලා ලලනී යන අය සමඟ හොරකැටියට යෑමට කතා කරගත්තා. ඒ මා සමග වැඩ කරන චූලා ලලනී යන අයට ග්‍රාම සේවක සහතිකයක් ගැනීමට හොරකැටිය ග්‍රාම සේවක ළඟට යෑමටයි.
අපි උදේ 9.45ට විතර ග්‍රාම සේවක ළඟට ගියා. කට්ටිය වැඩි නිසා යළිත් රැකියා ස්ථානයට ඒමට ආපසු පිටත් වී ආවා. ඒ ඇවිල්ලා වැඩපළ ලඟටම ඇවිත් වැඩ කරන තැනට යෑමට හැරවීමට ඇති පාර ළඟදී සංඥා විදුලි පහන් දල්වා පිටුපසින් වාහන එනවාද බලා මගේ යතුරු පැදිය දකුණු අත පැත්තට හැරෙව්වා. මට මතක තිබෙන්නේ එච්චරයි.
ටිකකින් මාව කාර් රථයකට දමනවා කියා ඇහුණා. අපේ වැඩපළේ මහත්තයාගේ කටහඬත් ඇහුණා. පසුව මට සිහි එන විට මම හිටියේ හොරණ රෝහලේ 14 වාට්ටුවෙයි. එහි සිටියදී මම දැක්කා මා සමග පිටුපසින් පැමිණි චූලා ලලනීද ඒ වාට්ටුවේම තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මටත් තුවාලවලට බෙහෙත් දමා තිබුණා. මා පැමිණි යතුරුපැදිය හැරවීමේදී පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් මාගේ යතුරු පැදියේ ගැටී අනතුරක් සිදුව ඇති බවත් ඒ යතුරුපැදියේ පැමිණි අය මියගොස් ඇති බවත් පසුව දැනගන්න ලැබුණා.”
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. එල්. කේ. ලක්ෂාන් විසින් සිදු කළා.
යතුරුපැදියේ ගමන් කරද්දී පාර හරහා දැමූ යතුරුපැදියේ වැදී අනතුරට ලක් වීමෙන් යතුරු පැදීයේ පිටුපස ගමන් කළ අය වැටී විදුලි කණුවේ වැදීමෙන් මුහුණ සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ බරපතල තුවාල මත මෙම මරණය සිදුවී ඇති බවට හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධ විසින් නිගමනය කර තිබුණා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments